සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසාට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සෞදි ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම ඒ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්රී ලාංකිකයන්ටද විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මිත්රශීලී රාජ්යයක නීතිමය ක්රියාවලියට ගරු කරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්ය තාන්ත්රික මැදිහත්වීම් සහ විදේශගත ශ්රී ලාංකිකයෙකු වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ උත්සාහය මෙම ප්රතිඵලය ලබාගැනීමට හේතු වූ බවද ඔහු සඳහන් කර ඇත.
මෙම ක්රියාවලිය සඳහා කැපවූ දෙරටේ රාජ්ය තාන්ත්රිකයන්, රාජ්ය නිලධාරීන් සහ නීති කණ්ඩායම් වෙත ශ්රී ලංකා රජයේ ප්රණාමය පිරිනමන බවත්, සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පළ කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අනෝජන්ට අදාළ ඉතිරි නීතිමය ක්රියාපටිපාටීන් අවසන් වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්ය සහයෝගය අඛණ්ඩව ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ජීවනෝපායක් සොයා විදෙස්ගත වන කිසිදු ශ්රී ලාංකිකයෙකු තමන් තනි වී ඇතැයි නොසිතිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
















