ලෝක බොරතෙල් වෙළඳපොළේ මිල ගණන් සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණ ද, එම වාසිය මෙරට පාරිභෝගිකයන්ට වහාම ලබා දීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර පැවති යුදමය වාතාවරණය සමනය වීමත් සමඟ පසුගිය මාස තුන තුළ ගෝලීය තෙල් මිල අවම අගයකට පහත වැටුණද, ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගැනීමේදී මාසික අනුමැතියන් මත පදනම් වන බැවින්, එම වාසිය අගෝස්තු මාසයෙන් පසු සිදු කෙරෙන නව ඇණවුම්වලදී පමණක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මේ අතර QR කේත ක්‍රමවේදය ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, දේශීය වෙළඳපොළේ ඉන්ධන මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම සඳහා රජය රුපියල් බිලියන 47ක මුදලක් අනුමත කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මීට පෙර පෙබරවාරි සහ මාර්තු මාසවලදී ඉන්ධන සහනාධාර සඳහා රුපියල් බිලියන 19ක් අනුමත කර තිබුණි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට සංස්ථාව ලබාදුන් විවිධ සහනාධාර හේතුවෙන් රුපියල් බිලියන 5ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවයි. දැනටමත් ජනතාවට විශාල සහන ප්‍රමාණයක් සලසා ඇති බැවින්, මෙම අවස්ථාවේ මිල අඩු කිරීමක් සිදු කළහොත් එම සහන පවා අහිමි වීමේ අවදානමක් පවතින බව සභාපතිවරයා අවධාරණය කරයි. එබැවින් ඉදිරියේදී ඉන්ධන මිලෙහි අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















