ඉදිරියේදී ඇති විය හැකි එල්නිනෝ (El Niño) දේශගුණික විපර්යාස තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම් සහ ඊට මුහුණදීම සඳහා රාජ්‍ය ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්විණි. මෙහිදී එල්නිනෝ තත්ත්වය මඟින් රටේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි ඇති කරන බලපෑම සහ ඊට ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වයට පූර්ව සූදානමක් ලෙස 2026 යල කන්නය සැලසුම් කළ කාලයට වඩා මාස එකහමාරකට පමණ පෙර ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි. එලෙසම, මෙවර ඇති විය හැකි එල්නිනෝ තත්ත්වය 2016 – 2017 වර්ෂවල ඇති වූ දරුණු වියළි කාලගුණික තත්ත්වයට සමාන විය හැකි බැවින්, ඊට ගැලපෙන පරිදි ජල කළමනාකරණ සැලසුම් සකස් කර ඇති බව ද නිලධාරීහු අවධාරණය කළහ. පවතින ජලාශවල ජල ධාරිතාව කළමනාකරණය කරමින් ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් සහ පානීය ජලය සහතික කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
‘දිට්වා’ සුළිකුණාටුව සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ මෙරටට ඇති වූ ආර්ථික හා සමාජයීය අභියෝගවලට සාර්ථකව මුහුණ දුන් ආකාරයටම, සියලු ආයතන ඒකාබද්ධ වෙමින් මෙම එල්නිනෝ අභියෝගය ද මැනවින් කළමනාකරණය කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. මෙම සාකච්ඡාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
















