පැවිදි දිවියට ඇතුළත් වීමේ පිරිසිදු අරමුණින් යුතුව විහාරස්ථානය වෙත පැමිණි වයස අවුරුදු 14ක බාලවයස්කාර පිරිමි දරුවෙකු, ඔහු පැමිණි පළමු දිනයේදීම බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාවලට වැරදිකරු වූ 65 හැවිරිදි විහාරාධිපති හිමිනමකට බරපතළ වැඩ සහිත වසර 30ක සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර මහාධිකරණය අද (27) තීන්දු කළේය.
අනුරාධපුර ළමා හා කාන්තා අපරාධ පිළිබඳ විශේෂ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
නීතිපතිවරයා විසින් පවරන ලද මෙම නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂි දීර්ඝ වශයෙන් සලකා බැලූ මහාධිකරණය, විත්තිකාර හිමිනමට එරෙහිව නඟා තිබූ බරපතළ ලිංගික අපයෝජන චෝදනා (Serious Sexual Abuse) සැකයකින් තොරව ඔප්පු වී ඇති බව නිගමනය කළේය. ඒ අනුව, වින්දිත දරුවාට සිදුවූ බලපෑම සහ සමාජයට දෙන පණිවිඩයක් ලෙස සලකා, එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා දෙකකට වෙන් වෙන්ව වසර 30ක මෙම සිරදඬුවම නියම කෙරුණි.
මීට අමතරව, වැරදිකරු වූ හිමිනමට අධිකරණය විසින් රුපියල් ලක්ෂයක දඩයක් ද, වින්දිත දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක විශේෂ වන්දි මුදලක් ගෙවන ලෙසත් නියෝග කළේය. දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් සිරදඬුවම් කාලය තවදුරටත් දීර්ඝ වන බව ද අධිකරණ තීන්දුවේ සඳහන් වේ.













