ලෝක කම්කරු දිනය වෙනුවෙන් කොළඹ නගරයට අමතරව දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල ද මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අනුරාධපුර නගරය කේන්ද්‍ර කරගනිමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැලිය හෙට (01) දින පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් සහ විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.
මෙම මැයි දින පෙළපාලිය නිවන්තකචේතිය විදුහල අසල රාමකෘෂ්ණ ප්‍රදේශයෙන් ආරම්භ වී මාර්කට් පෙදෙස, බැංකු වටරවුම සහ ඩී.එස්. වටරවුම ඔස්සේ ගමන් කර නව බස් නැවතුම්පොළ භූමියේදී මහජන රැලිය පැවැත්වීමට නියමිතය. පෙළපාලිය ගමන් ගන්නා අවස්ථාවලදී නගරයේ ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බැවින් රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතුය.
පුත්තලම සහ කුරුණෑගල දෙස සිට පැමිණෙන රථවාහන දහයියාගම හන්දියේ සිට සිංහ කණුව අසලින් කොහොඹගස් හන්දිය හරහා යාපනය හන්දිය දක්වා ගමන් කර මහනුවර, යාපනය හෝ ත්‍රිකුණාමලය දෙසට ගමන් කළ හැකිය. එමෙන්ම මහනුවර, යාපනය සහ ත්‍රිකුණාමලය දෙස සිට පැමිණෙන රථවාහන යාපනය හන්දියේ සිට කොහොඹගස් හන්දිය හරහා සිංහ කණුව අසලින් දහයියාගම හන්දිය දක්වා ගමන් කර පුත්තලම සහ කුරුණෑගල දෙසට ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
මැයි දින රැලිය සඳහා පැමිණෙන වාහන ගාල් කිරීම වෙනුවෙන් විශේෂ ස්ථාන කිහිපයක් වෙන් කර ඇත. ඒ අනුව සිංහ කණුව සිට ඇණ කම්හල දක්වා මාර්ගයේ දකුණු පස ද, මිහිඳුපුර ක්‍රීඩාංගනය සහ විවේකානන්ද ක්‍රීඩාංගනය ද රථගාල් ලෙස භාවිත කළ හැකිය. මීට අමතරව පළාත් සභා වටරවුමේ සිට ආදිත්‍ය රෝහල දක්වා මාර්ගයේ වම් පස ද වාහන නැවැත්වීම සඳහා අවසර ලබා දී තිබේ. ආරක්ෂක කටයුතු සහ රථවාහන හැසිරවීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බැවින් පොලිස් උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














