අනුරාධපුර – පාදෙණිය (ඒ-28) ප්‍රධාන මාර්ගයේ ආලංකුලම ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 05) උදෑසන සිදුවූ මාරක රිය අනතුරකින් රාජ්‍ය බැංකු කළමනාකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ එප්පාවල රාජ්‍ය බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කළ, 43 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ රොහාන් ජයන්ත බණ්ඩාර නමැති අවිවාහක පුද්ගලයෙකි. මරණකරු අනුරාධපුර දෙස සිට එප්පාවල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, උදෑසන 7.10 ට පමණ A-28 මාර්ගයේ කිලෝමීටර් 79 – 80 කණු අතරදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී (දකුණු පසට ගැනීමට යාමේදී) ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇත.
බරපතල තුවාල ලැබූ බැංකු කළමනාකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. අනතුරට සම්බන්ධ බස් රථයේ 46 හැවිරිදි රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්ද්‍රව්‍ය පානය කර සිටියේද යන්න පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබුණි.














