ශ්රී ලංකා ප්රමිති සහතිකය (SLS) නොමැති විදුලි වයර් කෝඩ් අලෙවිය සඳහා ප්රදර්ශනය කර තිබූ අනුරාධපුර 11 වැනි වීදියේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩ මුදලක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ වෙළෙඳසැලේ සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
විදුලි වයර් කෝඩ් වැනි විදුලි උපකරණ සඳහා නියමිත ප්රමිතිවලට අනුකූල වීම පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වන අතර, ප්රමිතියෙන් තොර විදුලි උපකරණ භාවිත කිරීම හේතුවෙන් විදුලි සැර වැදීම්, විදුලි කාන්දුවීම් සහ ගිනි ගැනීම් වැනි අනතුරු ඇතිවීමේ අවදානම ඉහළ යා හැක. එබැවින්, සුපිරි වෙළෙඳසැලකින් හෝ වෙනත් වෙළෙඳසැලකින් විදුලි වයර් කෝඩ් මිලදී ගැනීමේදී අදාළ SLS ප්රමිති ලාංඡනය සහ අනෙකුත් නියමිත තොරතුරු නිවැරදිව පරීක්ෂා කර බලා භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් මෙවැනි නීති උල්ලංඝනය කිරීම් හෝ සැකකටයුතු භාණ්ඩ අලෙවිය පිළිබඳ තොරතුරු වෙතොත්, 1977 පාරිභෝගික ඇමතුම් අංකය ඔස්සේ ඒ බව දැනුම් දෙන ලෙසද එම අධිකාරිය වැඩිදුරටත් දන්වා සිටී.














