ඇපල් සමාගම සිය මීළඟ මෙහෙයුම් පද්ධතිය වන iOS 27 හඳුන්වා දීමට සූදානම් වෙද්දී, iPhone 11 ඇතුළු පැරණි දුරකථන මාදිලි කිහිපයකට එහි සහාය අහිමි වනු ඇති බවට තොරතුරු වාර්තා වේ. NineToFiveMac වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව, දැනට iOS 26 සහාය දක්වන මාදිලි හතරක් මීළඟ යාවත්කාලීනයෙන් ඉවත් කිරීමට නියමිතය.
iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max සහ iPhone SE (දෙවන පරම්පරාව) යන මාදිලිවලට iOS 27 සහාය නොලැබෙනු ඇතැයි පැවසේ. ඒ අනුව, මින් ඉදිරියට iOS 27 භාවිත කිරීම සඳහා අවම වශයෙන් iPhone 12 කාණ්ඩයේ හෝ iPhone SE (තෙවන පරම්පරාව) හෝ ඊට පසු නිකුත් වූ මාදිලියක් තිබීම අනිවාර්ය වනු ඇත. කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ නව විශේෂාංග ක්‍රියාත්මක කිරීමට පැරණි චිප්සෙට්වල (Chipsets) පවතින සීමිත ධාරිතාව මෙලෙස සහාය නතර කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ. iOS 27 හි ඇතුළත් වන “Apple Intelligence” විශේෂාංග බොහොමයක් නවතම මාදිලි සඳහාම පමණක් සීමා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
iOS 27 හරහා “Liquid Glass” නම් නව සැලසුම් මෝස්තරයක් (Design Language) හඳුන්වා දීමට නියමිත අතර, එමඟින් මෘදුකාංගයට ත්‍රිමාණ (3D) ස්වරූපයක් ලැබෙනු ඇත. එමෙන්ම සිරි (Siri) පහසුකම ද වඩාත් දියුණු සංවාදශීලී මුහුණුවරකින් යාවත්කාලීන වීමට නියමිතය. ඇපල් සමාගම ජුනි 8 වැනිදා පැවැත්වීමට නියමිත ලෝක මෘදුකාංග සංවර්ධකයින්ගේ සමුළුවේදී (WWDC) iOS 27 පිළිබඳ නිල විස්තර සහ සහාය දක්වන දුරකථන ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














