සිරි (Siri) හඬ සහායකයා සඳහා පොරොන්දු වූ කෘත්‍රිම බුද්ධි (AI) යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් කොටස් හිමියන් පවරා තිබූ නඩුවක් සමථයකට පත් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට ඇපල් සමාගම එකඟ වී තිබේ. 2024 වසරේ වාර්ෂික මෘදුකාංග සංවර්ධක සමුළුවේදී හඳුන්වා දුන් නව AI විශේෂාංග, එදිනම නිකුත් කළ අයිෆෝන් දුරකථන සමඟ ලබා දීමට අපොහොසත් වීම මෙම නීතිමය ක්‍රියාමාර්ගයට මුල් වී ඇති අතර සමාගම ඒ පිළිබඳව දැවැන්ත ප්‍රචාරණයක් දියත් කළ ද වෙළෙඳපොළට නිකුත් කරන අවස්ථාවේදී එම විශේෂාංග ඇතුළත් වී නොතිබීම නිසා තමන්ට හානියක් වූ බව පැමිණිලිකරුවන් පෙන්වා දී ඇත.
මෙම ප්‍රමාදය පිළිබඳව පසුව නිවේදනය කළ ඇපල් සමාගම සිරි හි නවීකරණ කටයුතු මෙම වසර දක්වා සිදු නොවන බව පවසා සිටි අතර, ලබන මාසයේ පැවැත්වෙන සංවර්ධක සමුළුවේදී එම විශේෂාංග ප්‍රදර්ශනය කිරීමට මේ වන විට තහවුරු කර තිබේ. මෙම වන්දි ගෙවීමේ එකඟතාවයේදී තමන් අතින් වරදක් වූ බව සමාගම නිල වශයෙන් පිළිගෙන නොමැති වුවද, අනවශ්‍ය නීතිමය ගැටලුවලින් බැහැරව පාරිභෝගිකයින්ට නව්‍ය නිෂ්පාදන ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔවුන් පවසයි. 2024 වසරේ ‘Apple Intelligence’ හඳුන්වා දුන් දා සිට මේ දක්වා AI විශේෂාංග රැසක් නිකුත් කර ඇති බව සඳහන් කරන සමාගම, මෙම බේරුම්කරණය සඳහා ඉදිරියේදී විනිසුරු අනුමැතිය ලබා ගැනීමට නියමිතය.













