අරියාලෙයි සිත්තුපති චෙම්මිනි සමූහ සුසාන භූමියෙහි මේ වන විට සිදු කෙරෙන කැණීම් කටයුතු සාර්ථකව ඉදිරියට යන බවත්, එම කටයුතු සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. කැණීම් කටයුතු කඩිනමින් අවසන් කර අදාළ පාර්ශවයන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කණ්ඩායමක්, විශ්වවිද්‍යාල පුරාවිද්‍යා විද්‍යාර්ථින් සහ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම කැණීම් කටයුතු සිදු කරනු ලබයි. කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන මෙම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවයි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා යාපනය මහෙස්ත්‍රාත්තුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමාරන් සහ රජීවන් ජය චන්ද්‍රමුර්තී යන මහත්වරුන්, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ නීතිඥවරුන් එක්ව සිටියහ.
















