27 April 2024
#දේශීය

නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද (05) බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී සිදු විය.

නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය.

පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.

එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනි හෝබාහ් (Bonnie Horbach), ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සජානි කස්තුරිආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *