‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යටතේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා සේම, රටේ පැවැත්ම තීරණය කරන ‘සංස්කෘතික මිනිසකු’ නිර්මාණය කිරීමේ දැවැන්ත දේශපාලන සහ සමාජීය වගකීම රජය සතුටින් භාරගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට සුවිශේෂී පොසිල කෞතුකාගාරයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. රුපියල් මිලියන 25ක වියදමින් ඉදි කෙරෙන මෙම කෞතුකාගාරය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා වෙන් කෙරේ.
වසර මිලියන ගණනක් පැරණි මයෝසීන යුගයට අයත් ශාක හා සත්ත්ව පොසිල බහුල අරුවක්කාලු ප්‍රදේශයේ හෙක්ටයාර් 6ක භූමි ප්‍රමාණයක් පුරාවිද්‍යාත්මක රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශකත්වය යටතේ INSEE ආයතනයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.
පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන සහ අවශේෂ සංරක්ෂණය කිරීම සඳහා රජය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. සංස්කෘතික වශයෙන් පිරිහුණු සමාජයක පැවැත්ම අභියෝගයට ලක්වන බැවින්, පොතපත කියවන, කලාව රසවිඳින හරවත් පුරවැසියෙක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම කෞතුකාගාරය ඉදි කිරීමෙන් කැණීම්වලදී හමුවන වටිනා පොසිල විනාශ නොවී අනාගත පරපුරට අධ්‍යයනය සඳහා සංරක්ෂණය කිරීමට හැකි වේ.
මෙම ව්‍යාපෘතිය ඉදිරි වසරක කාලයක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, උතුරු සහ නැගෙනහිර ඇතුළු සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සංස්කෘතික මිනිසා නිර්මාණය කිරීමේ දායකත්වය ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















