පාසල් සිසුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සහ පර්යේෂකයන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, පොසිල අධ්‍යයනය සහ පර්යේෂණ කටයුතු වෙනුවෙන්ම වෙන් වූ විශේෂිත කෞතුකාගාරයක් ඉදිකිරීමේ කටයුතු පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේදී ආරම්භ විය. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා ආරම්භ කෙරිණි.
අරුවක්කාලු ප්‍රදේශය යනු වසර මිලියන ගණනක් පැරණි මයෝසීන යුගයට (Miocene Era) අයත් වටිනා ශාක හා සත්ත්ව පොසිල බහුලව හමුවන සුවිශේෂී කලාපයකි. මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම හේතුවෙන් රජය විසින් අරුවක්කාලු ප්‍රදේශයේ හෙක්ටයාර 6ක භූමි ප්‍රමාණයක් විශේෂ පුරාවිද්‍යාත්මක රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ඉන්සී (Insee) ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන අතර, රුපියල් මිලියන 25ක පූර්ණ මූල්‍ය දායකත්වය ඉන්සී ආයතනය විසින් සපයනු ලබයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය විශේෂඥ දැනුම සහ උපදේශකත්වය ලබා දෙන අතර, කෞතුකාගාරය ඉදිකිරීමෙන් පසු එහි නඩත්තු කටයුතු ආයතන දෙකේම ඒකාබද්ධ වගකීමක් ලෙස සිදු කිරීමට නියමිතය.
අරුවක්කාලු, සෙරක්කුලිය සහ අලිවලා වැනි ගම්මාන කලාපයන් මුල් කරගනිමින් ස්ථාපිත කෙරෙන මෙම කෞතුකාගාරය මගින්, කැනීම් කටයුතු වලදී හමුවන පොසිල විනාශ වීමට නොදී අනාගත පරපුර සහ පර්යේෂකයන් වෙනුවෙන් සුරක්ෂිතව සංරක්ෂණය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
















