හිටපු කතානායක අශෝක රන්වල මහතා තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට නිර්දේශ කරන මෙන් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් කළ ඉල්ලීම උන්වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. සිංහල අවුරුදු උත්සවය නිමිත්තෙන් මහ නාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී රන්වල මහතා මෙම විශේෂ ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
අශෝක රන්වල මහතා එහිදී පෙන්වා දී ඇත්තේ පුරප්පාඩු වී පවතින විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය හෝ වෙනත් කැබිනට් ධුරයක් තමන්ට ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැමැත්තෙන් පසුවන බවයි. කෙසේ වෙතත්, තමන් කතානායක ධුරය දරන සමයේ මතු වූ අධ්‍යාපන සහතික පිළිබඳ ගැටලුව හේතුවෙන් ජනාධිපතිවරයා තනතුරක් පිරිනැමීමට යම් මැති මැති අදිමදි කිරීමක පසුවන බව ද ඔහු සඳහන් කර ඇත. එම නිසා මහ නාහිමිවරුන් මැදිහත් වී නිර්දේශයක් කළහොත් ජනාධිපතිවරයාට එම තීරණය ගැනීමට සාධාරණ පදනමක් නිර්මාණය වන බව රන්වල මහතා පවසා තිබේ.
එහෙත් අශෝක රන්වල මහතාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දෙනමම දැඩි ස්ථාවරයක පසුවෙමින් එය ප්‍රතික්ෂේප කර ඇත. රාජ්‍ය නායකයකුගෙන් එවැනි පෞද්ගලික දේශපාලන ඉල්ලීම් කිරීම නුසුදුසු සහ අයෝග්‍ය ක්‍රියාවක් බව පෙන්වා දුන් උන්වහන්සේලා, එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව රන්වල මහතාට සෘජුවම ප්‍රකාශ කර තිබේ.
















