27 April 2024
#දේශීය

මෙරට සෞඛ්‍ය සේවාවට ඉදිරියටත් ආසියානු සංවර්ධන බැංකුවේ සහය

මෙරට සෞඛ්‍ය සේවාව උදෙසා ආසියානු සංවර්ධන බැංකුවේ උපරිම සහයෝගය ඉදිරියටත් ලබා දීමට කටයුතු කරන බව එහි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් Kenichi Yokoyama මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන් පිරිසක් අද (01) සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවූ අවස්ථාවේදීය.

මේ වන විටත් ඒ හා සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක් මෙරට ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසිය. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව හා ඉතා සහයෝගයකින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මෙතෙක් හැකි වූ බවද ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ සඳහා සහයෝගය ලබා දීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවත්, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ලබා දෙන සහයෝගය පිළිබඳව ස්තූතිය පළ කළේය. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ලබා දී ඇති සහයෝගය දැඩිව අගය කරන බව හෙතෙම කීය. මේ වන විට සීමාවන් සහිතව රට ක්‍රමානුකූලව විවෘත කිරීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරියේදී තවත් පියවර කිහිපයක් ඔස්සේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රට විවර කරන බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

මෙම අවස්ථාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික මෙහෙවර නියෝජිත Chen Chen මහතා,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එස්.චන්ද්‍රගුප්ත යන මහත්වරුන් සහභාගි විය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *