ආසිරි ශල්‍ය රෝහල විසින් ශ්‍ර්‍රී ලංකාවේ ප්‍රථම රොබෝ ආධාරිත ශල්‍යකර්‌මය (Robot Assisted Surgery) පසුගිය ජූලි 13 වැනිදා සාර්ථකව සිදු කරමින් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම නවීන තාක්ෂණය භාවිතයෙන් සිදු කළ පළමු ශල්‍යකර්‌මයත් සමඟ, රෝගීන්ට තවදුරටත් විදේශගත නොවී ලෝක මට්ටමේ ශල්‍ය ප්‍රතිකාර මෙරට තුළම ලබාගැනීමේ අවස්ථාව උදා වී ඇත.
ලොව රටවල් 60කට අධික සංඛ්‍යාවක භාවිත වන මෙම රොබෝ ශල්‍යකර්‌ම පද්ධතිය මගින් උසස් තත්ත්වයේ ත්‍රිමාන (3D) දෘශ්‍ය තාක්ෂණය සහ නිරවද්‍ය පාලනය ඔස්සේ සංකීර්‌ණ ශල්‍යකර්‌ම සිදු කිරීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට හැකියාව ලැබේ. කුඩා කැපුම් භාවිතය, අවට පටකවලට සිදුවන හානිය අවම වීම, රුධිර වහනය සහ ශල්‍යකර්‌මයෙන් පසු වේදනාව අඩු වීම මෙන්ම රෝගීන්ට ඉතා ඉක්මනින් සුවය ලබා රෝහලෙන් පිටව යා හැකි වීම මෙම තාක්ෂණයේ ඇති විශේෂ වාසි ලෙස හඳුනාගෙන ඇත.
මෙම නවීන තාක්ෂණය ශ්‍ර්‍රී ලංකාවට හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආසිරි ශල්‍ය රෝහලේ මෙහෙයුම් අධ්‍යක්ෂ වෛද්‍ය හැරී ප්‍රසාද් මහතා සඳහන් කළේ, වෛද්‍ය හැකියාවන්, තාක්ෂණය සහ මානව සම්පත සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම සෞඛ්‍ය සේවාවේ දියුණුවට අත්‍යවශ්‍ය සාධකයක් බවයි. යුරෝපීය නියාමන ප්‍රමිතීන්ට අනුකූල මෙම රොබෝ තාක්ෂණය ඔස්සේ රෝගී ආරක්ෂාව සහ ප්‍රතිකාර ප්‍රතිඵල ඉහළ නැංවීම රෝහලේ මූලික ප්‍රමුඛතාව බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.














