පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත අසත්‍ය ප්‍රකාශ පතුරවමින් රජය සහ ජනාධිපතිවරයා කෙරෙහි වෛරයක් ඇති කිරීමට උත්සාහ කරන පිරිස්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා පවසයි.
අසත්‍ය පතුරවන විපක්ෂ නායකයන්ට ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවට ගොස් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බව ඔහු සඳහන් කළේය. එහිදී වැරදිකරුවන් වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය මෙන්ම ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ද කොමිසමට බලය ඇති බව ඔහු අවධාරණය කළේය.
2009 වසරේ සිට මේ දක්වා සිදුව ඇති සියලුම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සහ ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව සිදුවූ දූෂණ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට රජය සූදානම් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. මෙහි විමර්ශන අවසානයේ ගල්අඟුරු විෂය භාරව සිටි හිටපු අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක, පවිත්‍රා වන්නිආරච්චි, අජිත් පී. පෙරේරා හෝ කාංචන විජේසේකර යන අයගෙන් ප්‍රජා අයිතිය අහෝසි වන්නේ කාගේද යන්න දැකගත හැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.
ඕස්ට්‍රේලියානු අපනයන සංවර්ධන ආයතනය වෙත ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5ක ණය සේවාකරණයේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් මුල් කරගනිමින් විපක්ෂය ජනාධිපතිවරයාට සහ ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සමාජය නොමඟ යැවීමට උත්සාහ කරන බව ඔහු චෝදනා කළේය. ආණ්ඩුකරණයේදී මෙවැනි තාක්ෂණික හා දේශපාලනික ගැටලු මතු වන බවත් රජය ඒවාට නිසි පිළිතුරු සපයමින් ඉදිරියට යන බවත් අසිත නිරෝෂන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.












