27 April 2024
#දේශීය

චීන සංචාරකයින් මෙරටට ගෙන්වීමට සහාය ලබා දෙන්න .. ජනපති – චීන විදේශ ඇමති හමුවේ කියයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිවරයා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබීය. කොවිඩ් වසංගතයට මුහුණදීමේ දී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමීය.

දෙරට අතර මිතුදම ආවර්ජනය කළ වැන්ග් යී මහතා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිවීම පිළිබඳ තමා සතුටට පත්වන අතර සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහාය සෑම විටම ලබාදෙන බව පැවසීය.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා චීන රජයට තම කෘතවේදීත්වය පළ කළේය.

නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර තිබේ. ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා වැන්ග් යී මහතාගෙන් ඉල්ලා සිටියේය.

කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

එමෙන්ම චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ වැන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදීම සිදුවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

චීන තානාපති ෂී ෂෙන්හෝං (QI Zhenhong), නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය චෙන් කොමින් (QIAN Keming), සහකාර විදේශ අමාත්‍ය වූ චෙංහොන් (WU Jianghao), චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චොන්ග් මෝඕයු (HZHANG Maoyu), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *