ජනතාවට බෙදා දීමට ලැබුණු රජයේ ‘අස්වැසුම’ සුබසාධක ආධාර මුදල් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් වංචා කරමින් තමන්ගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගත් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළ පරිදි, 2024 වර්ෂයේ දිළිඳු ජනතාවට පළමු අදියරේ ලබා දුන් අස්වැසුම ආධාර මුදල්වල හිඟ වාරික ගෙවීම සඳහා ලැබුණු මුදල් මෙලෙස අවභාවිත කර ඇත. නිර්නාමික පෙත්සමක් පිළිබඳව අභ්‍යන්තරව සිදු කරන ලද පරීක්ෂණයකින් පසු, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව, අදාළ විෂයභාර කළමනාකරණ සහකාර නිලධාරිනිය සහ වැවිලි ප්‍රජා සම්බන්ධීකරණ සහකාර නිලධාරිනිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සුබසාධක මණ්ඩල විගණන ඒකකය සහ පොලිසිය මගින් සිදු කිරීමට නියමිතය.














