අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට දීමනා ගෙවීම් සිදු කරනු ලබන්නේ දුප්පත් හා අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. 2023 වසරේදී ආරම්භ වූ මෙම යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර මෙම වසරේ සිට ක්‍රියාත්මක වන අතර, මේ වන විට ප්‍රතිලාභී තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
පසුගිය කාලසීමාව තුළ ප්‍රතිලාභ ගෙවීම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පහත දැක්වේ:
2023 වසරේදී කාණ්ඩ හතරක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම හිමි විය. 2025 අප්‍රේල් මාසයේදී එහි සිව් වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315,000කට දීමනා ගෙවීම් නතර කරන ලදී. තවද, තෙවැනි කාණ්ඩය වන අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000කට ද මෙම වසරේ ජුනි මාසයේ සිට දීමනා නතර කර ඇත.
කෙසේ වෙතත්, ඉහත කාණ්ඩ දෙක (සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ) තුළ සිටින පවුල් අතරින් යම් පවුලක් මේ වන විට දුප්පත් හෝ අන්ත දිළිඳු තත්ත්වයට පත්ව සිටී නම්, ඔවුන්ට නැවත අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව පවතින බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
















