අතුරුගිරිය ප්රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයක් ආසන්නයේ පිහිටි පර්චස් 100ක ඉඩමක් මෙට්රෝ බස් රථගාලක් ස්ථාපිත කිරීම සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට එල්ල වූ චෝදනාව සම්බන්ධ නඩුව නොවැම්බර් 2 වැනිදා දක්වා කල් තබා තිබේ.
අදාළ නඩුව අද (19) කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයේදී මහේස්ත්රාත් අරුණ ඉන්ද්රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ මහතාට, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතාට සහ මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කර තිබේ.
අධිකරණයේදී මෙට්රෝ ට්රාන්සිට් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, අදාළ ඉඩම කඩුවෙල මහ නගර සභාව විසින් සමාගමට නිර්දේශ කළ ඉඩමක් බැවින් එහි හිමිකාරීත්වය පිළිබඳව සොයා නොබැලූ බවයි. එහි වගකීම නගර සභාව සතු බව පවසමින් සමාගම නඩුවෙන් ඉවත් කරන ලෙස ද ඔහු ඉල්ලා තිබේ. අදාළ ඉඩමේ සිය බස් රථ නවතා තැබීම සිදු නොකරන බව ද සමාගම අධිකරණයට දැනුම් දී ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන් දිවුරුම් ප්රකාශ ලබාගැනීමෙන් අනතුරුව සමාගම නඩුවෙන් ඉවත් කිරීමට විරෝධයක් නොමැති බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කර තිබේ.
නඩුව සමථයකට පත්කර ගැනීමේ හැකියාව පිළිබඳව ද මහේස්ත්රාත්වරයා දෙපාර්ශ්වයෙන් විමසා ඇත. මන්ත්රී අසිත නිරෝෂණ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා ඇත්තේ චෝදනා සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්යයනය කර තීරණයක් දැනුම් දෙන බවයි.
ඒ අනුව, අදාළ නඩුව සම්බන්ධයෙන් ඉදිරි තීරණය දැනුම්දීම සඳහා නඩුව නොවැම්බර් 2 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.













