ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවති ආයෝජක සංසදයකදී ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ සහ ආයෝජන අවස්ථා පිළිබඳව ජාත්‍යන්තර ආයෝජකයන් දැනුවත් කර තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනි කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් වෙළඳපොළ (CSE) විසින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ කොළඹ වරාය නගරය සමඟ එක්ව මෙම ‘Invest Sri Lanka’ සංසදය සංවිධානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, දේශපාලන විනය සහ වර්ධනය වන ආයෝජන අවස්ථා මෙහිදී අවධාරණය කෙරිණි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ රටේ ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත්, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාමට නියමිත බැවින් ආයෝජනය කිරීමට මෙය කදිම අවස්ථාවක් බවත්ය.
තවද, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්වෙමින්, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය විනය සහ ඩිජිටල් පරිවර්තනය හරහා විනිවිදභාවයෙන් යුත් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ඇති බව විදෙස්ගත ශ්‍රී ලංකා ප්‍රජාවට සහ ජාත්‍යන්තර ආයෝජකයන්ට පෙන්වා දුන්නේය.














