ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සෞඛ්‍ය ආයතනවල පවතින ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සහ සෞඛ්‍ය පද්ධතිය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය ආයතන 82ක යටිතල පහසුකම්, කාර්ය මණ්ඩල අවශ්‍යතා, ඖෂධ හා වෛද්‍ය උපකරණ සැපයීම සහ රෝගී සත්කාර සේවා කාර්යක්ෂම කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය. ළමා පෝෂණය, ක්ෂය රෝග පාලනය සහ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, පළාත් සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරීම සඳහා රේඛීය අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.














