පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් දැඩි ලෙස හානි සිදුවූ බදුල්ල මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කළුගහකඳුර ගම්මානයේ ජනතාව මේ වන විට එල් නිනෝ (El Nino) කාලගුණික තත්ත්වයේ බලපෑමටද ගොදුරු වෙමින් සිටිති.
දිට්වා විනාශයෙන් පසු එම ගම්මානයේ කිතුල් ගස්, පුවක් ගස් සහ පොල් ගස් මියයමින් පැවති අතර, මේ දිනවල බලපාමින් තිබෙන එල් නිනෝ තත්ත්වයේ වර්ධවීමත් සමඟ ඉතිරිවී තිබූ ගස් ටිකද සම්පූර්ණයෙන්ම වියැළී විනාශවෙමින් පවතින බව ගම්වැසියෝ පවසති. මෙම ජනතාව කිතුල් කර්මාන්තයෙන් සහ පුවක් අළෙවියෙන් හොඳ ආදායමක් ලබා ගත් නමුත්, මේ වන විට එම සියලු ආදායම් මාර්ග අහිමිවීමෙන් ඔවුහු අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.
විශේෂයෙන්ම කිතුල් ගස් විනාශවීම මෙන්ම ඉතිරි වී ඇති සීමිත කිතුල් ගස්වලින්ද ඇල්දිය ලැබෙන්නේ ඉතා සුළු පැණි ප්‍රමාණයක් පමණක් වීම නිසා කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මීට අමතරව, දිට්වා කුණාටුවෙන් විනාශයට පත් වූ කළුගහකඳුර ගම මේ වන විට දැඩි ලෙස වියැළී ගොස් ඇති අතර, ප්‍රදේශයේ ජල උල්පත්ද දිනෙන් දින සිඳී යමින් පවතින බව ගම්වැසියෝ ඉතා සංවේගයෙන් පෙන්වා දෙති.













