බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග අධික වර්ෂාවකදී ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් ගුවන්තොටුපළ අවට ඇළමාර්ග පිරිසිදු කිරීම සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කෙරිණි.
පසුගිය මැයි මස 28 වැනිදා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම කාර්යය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් විශේෂ කාර්යසාධක බලකායක් ද පත් කර තිබේ.
අදාළ ආයතන එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ මූලික පියවර වන්නේ ඇළමාර්ගවල පවතින අවහිරතා ඉවත් කිරීම, ජල ධාරිතාව ඉහළ නැංවීම සහ වැසි ජලය නිසි පරිදි ගලායාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි. මෙම ක්‍රියාමාර්ග මගින් ගුවන් මගීන් සහ මහජනතාව මුහුණ දෙන අපහසුතා අවම කර ගැනීමටත්, අධික වර්ෂාපතන කාලවලදී අවට ප්‍රදේශවල ජනතාවට ඇතිවන ගංවතුර අවදානම පහත දැමීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙටිකාලීන විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සමගාමීව, මෙම ගැටලුවට ස්ථිර සහ තිරසාර විසඳුමක් ලබා දීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ද අදාළ ආයතනවල සහයෝගයෙන් අනාගතයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















