බණ්ඩාරවෙල මූලික රෝහලේ සෞඛ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 240ක දැවැන්ත ආයෝජනයකින් යුතු සංවර්ධන ව්‍යාපෘති ද්විත්වයක් ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ රුපියල් මිලියන 136ක පිරිවැයකින් නව ආයුර්වේද ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානයක් ද, රුපියල් මිලියන 103ක වියදමින් විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයක් ද ඉදි කිරීමට නියමිතය. රෝහල මූලික රෝහලක් ලෙස ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව මතු වූ දිගුකාලීන අවශ්‍යතා සපුරාලමින් රජයේ ප්‍රතිපත්ති වැඩපිළිවෙළට අනුකූලව මෙම පහසුකම් වර්ධනය කිරීම ප්‍රාදේශීය සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් සීමා නොවී රෝහල් පද්ධතිය සමස්තයක් ලෙස ශක්තිමත් කරමින් ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීම රජයේ අරමුණ වී ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි. ඉදිරි කාලය තුළ මෙම සංවර්ධන ව්‍යාපෘති නිම වීමත් සමඟ බණ්ඩාරවෙල මූලික රෝහල වෙත පැමිණෙන රෝගීන්ට මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයට ද ඉහළ මට්ටමේ පහසුකම් හිමි වන අතර, එය සමස්ත ඌව පළාතේම සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීමට ප්‍රබල රුකුලක් වනු ඇත.














