අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තායිලන්තයේ බැංකොක් නුවර සියලුම කලාප 50 ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. සැප්තැම්බර් 24 වැනිදා පස්වරුවේ සිට පැය 48කට ආසන්න කාලයක් අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාවෙන් මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාව හේතුවෙන් බැංකොක් නුවර මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර, වාහන ගමනාගමනයටද දැඩි බලපෑම් එල්ල වී තිබේ. නගරයේ ඇළ මාර්ගවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල නිවාස සහ වෙළෙඳසැල් වෙතද ජලය ගලාගොස් ඇති බව සඳහන් වේ.
බැංකොක් ආණ්ඩුකාර චැඩ්චාර්ට් සිට්ටිපන්ත් සඳහන් කර ඇත්තේ නගරයේ නැගෙනහිර ප්‍රදේශ වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති බවයි. තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවට තායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර, ගංවතුර සහ ජල ගැලීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
















