මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි අප්‍රසාදය පළ කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. කවර පාර්ශ්වයකින් සිදුවුවද, මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සම්පූර්ණයෙන්ම හෙළා දකින බව එම සංගමය අවධාරණය කරයි.
රැඳවුම් මධ්‍යස්ථාන තුළ සිදුවන මෙවැනි සිදුවීම් නීතියේ ආධිපත්‍යය පිරිහීමටත්, යුක්තිය පසිඳලීම කෙරෙහි පවතින මහජන විශ්වාසයට සෘජු තර්ජනයක් එල්ල කිරීමටත් හේතු වන බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේද ආරක්ෂාව සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව ඔවුන් සිහිපත් කරයි.
මෙම සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීම සාධනීය පියවරක් වුවද, එම විමර්ශනය ස්වාධීනව, අපක්ෂපාතීව, විනිවිදභාවයෙන් සහ කඩිනමින් සිදු කරන්නේ නම් පමණක් මහජන විශ්වාසය තහවුරු වන බව එම නිවේදනය වැඩිදුරටත් අවධාරණය කරයි.
විමර්ශනය මගින් සිදුවීම් මාලාව පිළිබඳ පූර්ණ අනාවරණය සහ නීති විරෝධී ක්‍රියා හෝ වගකීම් පැහැර හැරීම් හඳුනා ගැනීම, බන්ධනාගාර පරිපාලනයේ, ආරක්ෂාවේ හෝ අධීක්ෂණයේ ඇති අඩුපාඩු හඳුනා ගැනීම, අර්ථවත් ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සහ අපරාධමය හැසිරීම් හෝ රාජකාරිමය විෂමාචාරයන්හි නිරත වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි. එසේම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි විමර්ශන වාර්තාවේ සොයාගැනීම් ප්‍රසිද්ධියට පත් කිරීමේ වැදගත්කමද නීතිඥ සංගමය විසින් අවධාරණය කර තිබේ.
















