නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මාතර ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුවට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තැන්පත් කර තිබූ ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, විත්තිකරු පිළිගත හැකි වෛද්‍ය වාර්තාවක් හෝ ඉදිරිපත් නොකර දිගින් දිගටම අධිකරණය මඟහැර ඇති බව සඳහන් විය. ඒ අනුව, ඔහුට එරෙහිව නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව 2026 ඔක්තෝබර් 27 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත්, ඔහු වෙනුවෙන් පෙනී සිටි ඇපකරුවන්ට දඩ නියම කිරීමටත් මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.














