මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය බලවත් කණගාටුව පළ කර සිටින අතර, රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම රජයේ මූලික යුතුකමක් බව අවධාරණය කරයි. මෙය හුදෙකලා සිදුවීමක් නොව, මෙරට බන්ධනාගාර පද්ධතියේ සහ අපරාධ යුක්ති පරිපාලනයේ පවතින දිගුකාලීන ව්‍යුහාත්මක දුර්වලතාවල ප්‍රතිඵලයක් බව එම සංගමය පෙන්වා දෙයි.
කවර පාර්ශ්වයකින් සිදුවුවද සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසන නීතිඥ සංගමය, මෙවැනි සිදුවීම් හරහා නීතියේ ආධිපත්‍යය පිරිහී යන බවත්, යුක්තිය පසිඳලීම කෙරෙහි පවතින මහජන විශ්වාසයට ඉන් ඍජු තර්ජනයක් එල්ල වන බවත් සඳහන් කරයි. මෙම සිදුවීම විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීම රජය ගත් සාධනීය පියවරක් වුවද, එහි මහජන විශ්වාසය රඳා පවතින්නේ පරීක්ෂණ අපක්ෂපාතීව සහ කඩිනමින් සිදු කරන්නේ නම් පමණක් බව සංගමය සිහිපත් කරයි. වැරදිකරුවන් බන්ධනාගාර නිලධාරියෙකු හෝ රැඳවියෙකු වුවද ඔවුන් නීතිය ඉදිරියට පමුණුවා වගවීම තහවුරු කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
බන්ධනාගාර තුළ පවතින තදබදය විසඳීම සඳහා බන්ධනාගාර ශක්‍යතාව පුළුල් කිරීමට වඩා වැඩි ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙන්වා දෙන නීතිඥ සංගමය, ඒ සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාවලි පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීම, අපරාධ නඩු කඩිනමින් අවසන් කිරීම, සුදුසු පරිදි ඇප ලබා දීම සහ සිරදඬුවම් වෙනුවට විකල්ප දඬුවම් ක්‍රම භාවිත කිරීම මෙන්ම පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම සහ නවීන බන්ධනාගාර කළමනාකරණයක් පවත්වාගෙන යාම වැනි පියවර ගත යුතු බව නිර්දේශ කරයි.
පුද්ගලයෙකුගේ නිදහස අහිමි වුවද ඔහුගේ මූලික අයිතිවාසිකම් සහ ගෞරවය අහිමි නොවන බවත්, අධිකරණයකින් වරදකරු කරන තුරු සෑම රැඳවියෙකුම නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බවත් නීතිඥ සංගමය සිහිපත් කරයි. එසේම, දුෂ්කර තත්ත්ව යටතේ සේවය කරන බන්ධනාගාර නිලධාරීන්ට ද ආරක්ෂිත වැඩ පරිසරයක් හිමි විය යුතු බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි. මෙම ඛේදවාචකය මෙරට බන්ධනාගාර සහ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ අර්ථවත් සහ කල්පවත්නා ප්‍රතිසංස්කරණ සඳහා උත්ප්‍රේරකයක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
මෙම නිල ප්‍රකාශය නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සහ ලේකම් නීතිඥ නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
















