ඇමෙරිකානු නාවික හමුදාව විසින් පනවා ඇති දැඩි අවහිර කිරීම් (Blockade) හේතුවෙන් ඉරාන තෙල් රැගත් ප්‍රවාහන නෞකා හයක් පසුගිය දින කිහිපය තුළ නැවත ඉරානය වෙත හරවා යවා ඇති බව නෞකා ගමන් මඟ නිරීක්ෂණ දත්ත වාර්තා කරයි. පසුගිය පෙබරවාරි 28 වනදා ආරම්භ වූ ඉරාන යුද්ධය හේතුවෙන් ලොව ප්‍රධානතම තෙල් අපනයන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. සාමාන්‍යයෙන් දිනකට නෞකා 125ත් 140ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළද, පසුගිය දිනය තුළ එම සංඛ්‍යාව හතක් දක්වා පහත වැටී ඇති අතර, ලෝක වෙළඳපොළ ඉලක්ක කරගත් කිසිදු තෙල් නැවක් ඉන් පිටතට පැමිණ නොමැති බව Kpler සහ SynMax දත්ත පෙන්වා දෙයි.
ලෝකයේ දෛනික තෙල් සහ දියර ස්වභාවික වායු (LNG) සැපයුමෙන් 20%ක්ම හුවමාරු වන මෙම උපායමාර්ගික කලාපය තුළ අප්‍රේල් 13 වනදා සිට ඇමෙරිකාව විසින් ඉරානයට සම්බන්ධ නාවික ගමනාගමනය අවහිර කිරීම ආරම්භ කරන ලදී. එතැන් සිට මේ දක්වා නෞකා 37ක් හරවා යැවීමට ඇමෙරිකානු හමුදා පියවර ගෙන ඇත. යුද්ධය ආරම්භ වී මාස දෙකක් ගත වීමට ආසන්න වුවද, ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇනහිට තිබීම හේතුවෙන් මෙම අවදානම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ. මේ නිසා දහස් සංඛ්‍යාත නාවිකයින් අතරමං වී ඇති අතර, රක්ෂණ සමාගම් ද මෙම කලාපය හරහා ගමන් කරන නෞකා සඳහා රක්ෂණාවරණ ලබාදීමට මැලිකමක් දක්වයි.














