නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩිකොළ කිලෝ ග්‍රෑම් අටසියකට අධික තොගයක් සමඟ ලොරි රථයක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. නාවික නෞකා තම්බපන්නි ආයතනය සහ නොරොච්චෝලේ පොලීසිය ඒකාබද්ධව පුත්තලම දළුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය සමඟ වාහනය අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
අදාළ ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි උර 20ක අසුරා ප්‍රවාහනය කරමින් තිබූ බීඩිකොළ කිලෝ ග්‍රෑම් අටසියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද මෙම බීඩිකොළ තොගය ගොඩබෑමෙන් පසු වෙනත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී මෙම වැටලීම සිදු කර ඇත.
නාවික හමුදා භාරයට ගත් අදාළ බීඩිකොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලීසිය වෙත භාර දී තිබේ. වෙරළබඩ ප්‍රදේශ හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩලීම සඳහා නාවික හමුදාව සහ පොලීසිය එක්ව අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බව ආරක්ෂක අංශ සඳහන් කරති.














