27 April 2024
#දේශීය

බීඩි බදු සංශෝධන කලේ රටේ අහිමි වු බදු ආදායම වෙනුවෙන් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

මෙතෙක් රජයට අහිමි වූ බදු මුදලක් නිසි පරිදි ලබාගැනීම බීඩි බදු සංශෝධනයේ අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙතෙක් බීඩි කොළ ආනයනයේදී බීඩි කොළ කිලෝවක් සඳහා රු. 5000/= ක් තරම් වූ ඉහළ බද්දක් අය කළ බව සඳහන් කළ අමාත්‍යවරයා , ප්‍රායෝගික නොවන මෙවැනි ඉහළ බද්දක් අයකිරීම නිසා බීඩි කොල ආනයනයෙන් 75 % ක්ම අනියම් ක්‍රම මගින් ගෙන්වීමට බොහෝ බීඩිකොළ ආනයන කරුවන් කටයුතු කළ බවත් , ඒ නිසාම රජයට හිමි වියයුතු බදු මුදලක් අහිමි වීම සිදු වූ බවත් සඳහන් කළේය.

ඒ අනුව පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බීඩි නිෂ්පාදකයින්ගේ සංගමයේද සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙතෙක් කිලෝවට රු.5000.00 ක් වූ බීඩි කොල ආනයන බද්ද කිලෝවට රු. 250.00 දක්වා අඩුකිරීමටත්, ඉන් සිදුවන අලාභය පියවා ගැනීම සඳහා නිෂ්පාදිත බීඩියක් සඳහා මෙතෙක් අයකළ රු.2.00 ක්වූ බදු මුදල බීඩියකට රු. 3.50 දක්වා ඉහළ දැමීමටත් කටයුතු කළ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මේ හේතුව නිසා 700 ක් පමණ වන ලියාපදිංචි බීඩි නිෂ්පාදකයින් යටතේ සේවය කරන පිරිස මෙන්ම , ගෘහ කර්මාන්තයක් වශයෙන් බීඩි නිෂ්පාදනය සිදුකර ඉතා සුළු මුදලක් උපයා ගන්නා ලක්ෂ ගණනක් වූ පිරිසට තම රැකියාව සුරක්ෂිතව සිදුකරගෙන යාමට හැකියාව ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා , මෙමගින් කිසිසේත්ම බීඩි මිල ඉහළ යාමක් සිදු නොවන බවත් , විකෘති වී තිබූ බද්ද ප්‍රකෘතිමත් වීමත් , නිෂ්පාදකයාට යම් සහනයක් සැලසීමත් මේ මගින් සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එසේම මින් ඉදිරියට සුළු පරිමාණ වශයෙන් බීඩි නිෂ්පාදනය කරන පිරිස ලියාපදිංචි කොට ඉන් එම පිරිස යම් නියාමනයකට ලක්කර ඔවුන්ට යම් ආවරණයක් සැලසීමට රජයේ අවධානය යොමු වී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත් බීඩි කර්මාන්තය යනු දුම්වැටි කර්මාන්තයක්ම වන බැවින්, රජය මෙම කර්මාන්තය ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවක් මින් අදහස් නොවන බවත් , කර්මාන්තයේ යෙදී සිටින ලක්ෂ ගණනක් වූ පිරිසකගේ ජීවනෝපාය ආරක්ෂා කර දීමත් , විකෘති බද්දක් නිසා රජයට මෙතෙක් අහිමි වූ බදු මුදලක් අයකර ගැනීමට සැලැස්වීමත් මෙමගින් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *