බෙන්තොට පාලම මත වැටී තිබී හමුවූ රුපියල් 150,000කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් එහි හිමිකරුට ඉතා අවංකව බාරදුන් බෙන්තොට පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පිළිබඳව ප්‍රශංසා පළවෙමින් පවතී.
පසුගිය ඉරිදා (31) දින මාර්ග රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් ඉසුරු සමීර (60706) සහ පොලිස් කොස්තාපල් රමේෂ් අරවින්ද (79425) යන නිලධාරීන් විසින් මෙම ජංගම දුරකථනය බෙන්තොට පාලම මත වැටී තිබියදී සොයාගෙන ඇත. දුරකථනය සොයාගත් පසු එහි අයිතිකරු සොයා පැමිණේදැයි බැලීම සඳහා එම නිලධාරීන් එම ස්ථානයේම රැඳී සිටීමට කටයුතු කළහ.
ටික වේලාවකට පසු තරුණයෙකු එම ස්ථානයට පැමිණ තමන්ගේ ජංගම දුරකථනය නැතිවී ඇති බව පැවසීමත් සමඟ, නිලධාරීන් විසින් සුදුසු පරීක්ෂාවන් සිදුකර දුරකථනයේ අයිතිය තහවුරු කරගෙන ඇත. අනතුරුව බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත අදාළ දුරකථනය තරුණයා වෙත බාර දීමට එම නිලධාරීන් කටයුතු කළේය.
මෙම නිලධාරීන්ගේ අවංකත්වය සහ වගකීමෙන් යුතුව රාජකාරියේ නිරත වීම ප්‍රදේශවාසීන්ගේ සහ උසස් නිලධාරීන්ගේ ඇගයීමට ලක්ව ඇත.
















