බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) දෙවන මඟී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයට පෙර ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර එකඟතාව තහවුරු කර තිබේ. වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ JICA ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි (Mr. Hara Shohei) මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත. අත්හිටුවා තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමතර ණය පහසුකම් ලබාගැනීම ඇතුළු මූලික කටයුතු මේ වන විට අවසන් වී ඇති අතර, ටෙන්ඩර් පටිපාටිය යටතේ තෝරාගත් ඉදිකිරීම් සමාගම සමඟ සාකච්ඡා ද අවසන් අදියරේ පවතියි. මෙහිදී කොළඹ වරායේ නෞකා ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට JICA සහාය ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.














