අපිට වැල්ලත් එකයි, ඇලත් එකයි, කමතත් එකයි, කුඹුරත් එකයි, හේනත් එකයි කියා ප්‍රකාශ කර ඇති නාමල් රාජපක්ෂ මහතා, අසාධාරණයට ලක්වෙන ඕනෑම පුරවැසියෙක් වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් එය ගමේද, නගරේද යන්න අදාළ නැති බවත් සඳහන් කර තිබේ.
අද වන විට ආණ්ඩුව රටේ සහ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් නොදෙන බව පෙන්වා දී ඇති ඒ මහතා, ගම්බද ජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටින බවත්, වී ටික විකුණගන්නට නොහැකි වීම, පොහොර වේලාවට නොලැබීම සහ ආදායම් පහළ බැසීම වැනි ගැටලු රැසකට ඔවුන් මුහුණ දී සිටින බවත් පවසා ඇත.
පසුගිය දිනවල ඇති වූ කුණාටු තත්ත්වයන් හේතුවෙන් නායගිය සහ කැඩීගිය නිවාස, වැව් අමුණු හා ඇළවේළි ප්‍රතිසංස්කරණය කිරීමට ආණ්ඩුව තවමත් මැදිහත් වී නොමැති බවත්, රටේ කර්මාන්තශාලා වැසී යෑම නිසා රැකියා අහිමිවීම් සිදුවන බවත් සඳහන් කර ඇති ඔහු, මේ සියලු ගැටලු සඳහා ආණ්ඩුව වගකිවයුතු අතර රාජපක්ෂවරුන්ට දොස් නඟමින් සිටීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැති බවටත් අවධාරණය කර තිබේ.














