දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයින්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට තවදුරටත් ඉඩ ලබාදෙන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (අගෝස්තු 06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත යළි සංශෝධනය වීමට නියමිතය. පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, වත්කම් බැරකම් තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමේදී ඇතැම් පාර්ශ්ව ඒවා විකෘති කරමින් පෞද්ගලිකත්වයට අනවශ්‍ය පහරක් එල්ල කර ඇති බවයි.
මෙම තත්ත්වය මත දූෂණ විරෝධී කොමිසම විසින් ජනතා ප්‍රවේශය යම් ප්‍රමාණයකට සීමා කිරීමට තීන්දු කළද, ආණ්ඩුව ලෙස ගත් තීරණය අනුව මහජන නියෝජිතයන්ට අදාළව එම තොරතුරු ලබාගැනීමේ අයිතිය ජනතාවට අඛණ්ඩව හිමිවන බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව, මහජන නියෝජිතයන් නොවන අනෙකුත් නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් අදාළ සංශෝධන සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















