ජාතික ජන බලවේගය බලය හොබවන බියගම ප්‍රාදේශීය සභාවේ පැවැති සභා වාරය දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත් අතර එල්ල වූ මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා හමුවේ සභාපතිවරයා සභාවෙන් පිටව ගියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි “හූ” හඬ මධ්‍යයේය. සභාවේ වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේදී රුපියල් ලක්ෂ ගණනක අක්‍රමිකතාවක් සිදුව ඇති බව මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විවිධ බිල්පත් වාර්තා සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් අනාවරණය කරන ලදී.
මුදල් කමිටු වාර්තාවලට අනුව රුපියල් ලක්ෂ හතකට අධික බිල්පතක නියමිත එකතුව ලක්ෂ තුනක් පමණක් වන බවත් එහි රුපියල් හතර ලක්ෂයකට අධික වංචාවක් සිදුව ඇති බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. සභාවට අයත් නොවන පෞද්ගලික වාහන සඳහා මහජන මුදලින් ඉන්ධන ලබාගෙන ඇති බවටත් සභාපතිවරයාගේ ඥාති පුත්‍රයෙකු හරහා මෙම මූල්‍ය පාලනයන් මෙහෙයවන බවටත් මෙහිදී බරපතල චෝදනා එල්ල විය.
මීට අමතරව පුස්තකාල සඳහා පොත් මිලදී ගැනීමේදී පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අයත් පොත්හල්වලින් පමණක් පොත් ලබාගන්නා බවට චෝදනා කළ විපක්ෂය සභාවේ ලේකම්වරියද මෙම අක්‍රමිකතාවලට හවුල් වී ඇති බව ප්‍රකාශ කළේය. මෙම කරුණු පිළිබඳව සභාවේදී දැඩි ලෙස ප්‍රශ්න කිරීමත් සමඟ සභාපතිවරයා සභාව මගහැර පිටව ගිය අතර පවතින තත්ත්වය හමුවේ නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.













