කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වී සිටි තරුණියක් පැහැරගැනීමට දැරූ උත්සාහයක් පොලීසිය විසින් ව්‍යර්ථ කර තිබේ. මෙම පැහැරගැනීම සිදු කර ඇත්තේ තරුණියගේ පෙම්වතා විසින් බව පොලීසිය පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා තරුණිය සිය පවුලේ ඥාතීන් සමඟ BMICH වෙත පැමිණ ඇත. ඇය තමාගේ පෙම්වතාට නොදන්වා උපාධි ප්‍රදානෝත්සවයට පැමිණ ඇති අතර, ඇයව පැහැරගෙන යන බවට පොලිසියට දැනුම් දී ඇත්තේ තරුණියගේ පියාය. මෝටර් රථයකින් තරුණියක් පැහැරගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුව, නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නතර කිරීමට පොලීසිය උත්සාහ කර ඇත. පොලිස් අණ නොතකා රථය ධාවනය කිරීම නිසා පොලීසිය විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. වෙඩි තැබීමෙන් පසු රියදුරා මෝටර් රථය දමා පලාගොස් ඇති අතර, පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රථය ධාවනය කර ඇත්තේ ඇයගේ පෙම්වතා බවය.
මාතර වැලිගම සහ මිදිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම තරුණයා, මත්ද්‍රව්‍ය භාවිත කිරීම හා අලෙවි කිරීමේ චෝදනා ලැබූවෙකි. පැහැරගැනීමට භාවිත කළ මෝටර් රථයද පෙම්වතාට අයත් එකක් වන අතර, එය තරුණියගේ පියා උපාධි ප්‍රදානෝත්සවයට රැගෙනවිත් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත. කුරුඳුවත්ත පොලිසියට රැගෙන ගිය මෝටර් රථය තුළ සිටි තරුණිය අද (29) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කෙරිණි. පලාගිය සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මකය.














