බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ තේ වත්තේ දළු නෙළමින් සිටි කාන්තාවක් කඳුකර කොටියෙකුගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලබා තිබේ. අද (04) දින සිදුව ඇති මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ. ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.
තේ දළු නෙළමින් සිටියදී එම කාන්තාවගේ ගෙලට සහ අතට ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඇය බිම ඇද වැටීමෙන් පසු අනෙකුත් වතු කම්කරුවන්ගේ කෑගැසීම හමුවේ කඳුකර කොටියා එම ස්ථානයෙන් පලා ගොස් තිබේ. වතු කම්කරුවන් සුරතලයට ඇති කරන සුනඛයන් තේ දළු නෙළන ස්ථානවලට රැගෙන යාම සහ එම සුනඛයන් ගොදුරු කර ගැනීමට පැමිණෙන කඳුකර කොටියන්ට බාධා වන අවස්ථාවලදී අසල සිටින පුද්ගලයන්ට මෙպරිදි ප්‍රහාර එල්ල වන බව වනජීවී නිලධාරීන් පෙන්වා දෙති.














