ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති ලෙස පත් වූ දූමින්ද හුලංගමුව මහතා, මෙරට පවතින වෙළඳ හිඟය පියවා ගැනීමට සහ අපනයන වර්ධනය වේගවත් කිරීමට ආයෝජන මණ්ඩලයේ පූර්ව බලතල යළි තහවුරු කරමින් එය ආයෝජකයන් සඳහා සැබෑ “එක් නැවතුම් මධ්‍යස්ථානයක්” (one-stop shop) බවට පත් කරන බවට පොරොන්දු විය.
ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය අමතමින් සභාපතිවරයා පවසා සිටියේ, රට මුහුණ දී ඇති මෙම තීරණාත්මක අවස්ථාවේදී යථාර්ථවාදී ආයෝජන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලු දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවයි. ආයෝජන මණ්ඩලයේ කෙටි කාලයක් සේවය කළ හිටපු සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගේ දායකත්වයට ද ඔහු සිය ස්තූතිය පළ කළේය.
දූමින්ද හුලංගමුව මහතා මූල්‍ය, බදු, විගණන සහ රාජ්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇති වරලත් ගණකාධිකාරීවරයෙකි. ඔහු මෑතක් වන තුරුම EY ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ කළමනාකාර හවුල්කරු ලෙස සේවය කළ අතර, පසුගිය ජූනි 30 වන දා එම ධූරයෙන් විශ්‍රාම ගත්තේය. 2024 සැප්තැම්බර් මාසයේ සිට ජනාධිපතිවරයාගේ ගෞරවනීය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ඔහු, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සාමාජිකත්වය මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියක් (LLB) ද ලබා ඇත. ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද තවදුරටත් කටයුතු කරන හුලංගමුව මහතා, සිය වෘත්තීය සේවා අත්දැකීම් සහ නායකත්වය ඔස්සේ ශ්‍රී ලංකාව විදේශීය සෘජු ආයෝජන සඳහා තරඟකාරී ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අභියෝගය භාර ගනී.
















