බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියන් සහ දූෂිත නිලධාරීන් එක්ව පවත්වාගෙන ගිය නීතිවිරෝධී ජාවාරම් ජාලය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වීමත් සමඟ, බන්ධනාගාර පරිපාලනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කිරීමට ආරක්ෂක අංශ සහ බන්ධනාගාර මූලස්ථානය කඩිනම් පියවර ගනිමින් සිටී. සංවිධානාත්මක අපරාධකරුවකු වන “කොමාන්ඩෝ සලින්ත” සතුව තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සොයාගත් ස්මාර්ට් ජංගම දුරකථනවල දත්ත, බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින්ම සූක්ෂ්ම ලෙස මකා දැමීමේ සිද්ධිය මුල් කරගනිමින් මෙම දැඩි තීරණ ගෙන ඇති බව වාර්තා වේ. අපරාධකරුවන් සතු සාක්ෂි විනාශ කිරීමට බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන් සෘජුවම සම්බන්ධ වී ඇති බවට බුද්ධි අංශ මඟින් තහවුරු කරගැනීමත් සමඟ, බූස්ස බන්ධනාගාරයේ සමස්ත ආරක්ෂක කළමනාකරණය සහ සිරකුටි පරීක්ෂාවන් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම විශේෂ කාර්ය බලකායේ සෘජු අධීක්ෂණයට පැවරීමට මූලික සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත.
මේ අතර, කොමාන්ඩෝ සලින්ත විසින් බන්ධනාගාරයේ සිට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “කංජිපානි ඉම්රාන්” වෙත තම මව හරහා යැවීමට උත්සාහ කළ රහස් ලිපිය ද මේ වන විට විශේෂ විමර්ශන කණ්ඩායමක භාරයට ගෙන තිබේ. එම ලිපියේ සඳහන් ඉදිරි මත්ද්‍රව්‍ය සංක්‍රමණ සහ සැලසුම්ගත අපරාධ පිළිබඳ තොරතුරු ඔස්සේ බන්ධනාගාරයෙන් පිටත සිටින සෙසු සහචරයින් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර සහ දකුණු පළාත් භාර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් දියත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. බූස්ස බන්ධනාගාරය තුළ තවදුරටත් රැඳී සිටිමින් ජංගම දුරකථන සහ රහස් ලිපි මඟින් ජාලය මෙහෙයවන සලින්ත ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිපදෙනෙකු ද, මීට පෙර ‘වෙලේ සුදා’ සහ ‘දෙමටගොඩ චමින්ද’ ඇතුළු පිරිස මාරු කළ වැලිසර නාවික හමුදා කඳවුරේ අධි ආරක්ෂිත සිරකුටි සංකීර්ණය වෙතම කඩිනමින් මාරු කර යැවීමට ඇති හැකියාව පිළිබඳව ද ආරක්ෂක අංශවල අවධානය යොමුව තිබේ.
මෙම අතිශය දූෂිත සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් වහාම ආරම්භ කර ඇති අතර, නඩු භාණ්ඩ ලෙස භාවිත කිරීමට තිබූ ජංගම දුරකථන දත්ත සිතාමතාම මකා දැමූ බූස්ස බන්ධනාගාරයේ අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඇතුළු සිද්ධියට අනුග්‍රහය දැක්වූ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට හෝ ඔවුන්ව දුර බැහැර බන්ධනාගාර වෙත වහාම ස්ථාන මාරු කිරීමට නියමිතය. බන්ධනාගාර පද්ධතිය ඇතුළත සිට ක්‍රියාත්මක වන මෙවැනි මහා පරිමාණ පාවාදීම් හේතුවෙන් රටේ සමස්ත ජාතික ආරක්ෂාවට සහ අපරාධ මර්දන ක්‍රියාවලියට දැඩි බාධාවක් එල්ල වී ඇති බැවින්, දූෂිත නිලධාරීන්ට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව උපරිම නීතිමය පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඍජු නියෝග නිකුත් කර ඇත.
















