ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය උරුමය ආරක්ෂා කරමින්, පරම්පරා ගණනාවක ජනතාවගේ සුවසෙත උදෙසා වසර 97ක් පුරා අඛණ්ඩව කැපවූ බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ අභිමානවත් සුව මෙහෙවර සැමරීම වෙනුවෙන් විශේෂ සෙත් පිරිත් සජ්ඣායන පුණ්‍ය වැඩසටහනක් සංවිධානය කර තිබේ.
මෙම පුණ්‍ය වැඩසටහන 2026 ජූලි 17 වැනි දින පස්වරු 7.00ට බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේදී පැවැත්වේ.
දශක නවයකට අධික කාලයක් පුරා පාරම්පරික දේශීය වෛද්‍ය දැනුම සහ නවීන සෞඛ්‍ය අවශ්‍යතා ඒකාබද්ධ කරමින් ජනතාවට ගුණාත්මක ප්‍රතිකාර සේවා සැපයීමට මෙම රෝහල සමත්ව ඇත. රෝගී සත්කාර සේවාවන්, ඖෂධ නිෂ්පාදනය මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම යන ක්ෂේත්‍රවල රෝහල ඉටුකරන මෙහෙවර අගය කිරීම සහ රෝහලේ ඉදිරි ගමනට සෙත් ප්‍රාර්ථනා කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ නිලධාරීන්, ආයුර්වේද ක්ෂේත්‍රයේ විද්වතුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්වීමට නියමිතය. දේශීය වෛද්‍ය උරුමය අනාගත පරපුරට සුරක්ෂිතව පවරා දෙමින්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පුළුල් කරමින් වඩාත් කාර්යක්ෂම සුව සේවාවක් ජනතාවට ලබාදීම රෝහලේ ඉදිරි දැක්ම වේ.
















