පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක සඳහා ලබා දී තිබූ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට නියෝග කර තිබේ.
අදාළ නිලධාරිනිය මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්වරයාට එරෙහිව පැවැත්වෙන දූෂණ විමර්ශනයක ප්‍රධාන සාක්ෂිකාරියකි. ඇයව අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහජන පෙත්සම් කාරක සභාව වෙත මාරු කර යැවීමට මහලේකම්වරිය පියවර ගෙන තිබුණි.
එහෙත් එම ස්ථාන මාරුවීම දැනට පවතින විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බව පෙන්වා දෙන අල්ලස් කොමිසම, විමර්ශන අවසන් වන තෙක් එම තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස දන්වා ඇත. සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වීම වැළැක්වීම සහ විමර්ශනවල විනිවිදභාවය රැක ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.














