27 April 2024
#දේශීය #පුවත්

ජනාධිපතිවරණයේදී දිනන දේශපාලන ව්‍යාපාරය බවට පොහොට්ටුව පත්වෙනවා – මන්ත්‍රී සංජීව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් එළඹෙන ජනාධිපතිවරණය තුළ දේශපාලන වශයෙන් දිනන දේශපාලන ව්‍යාපාරය බවට අප පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා, “මාර්ගගත සුරක්ෂිතතා පනත මේ වන විට යම් යම් දේශපාලන ව්‍යාපාර විසින් සාකච්ඡාවට ගනිමින් තිබෙන්නේ, මෙය දේශපාලන විරුද්ධවාදීන්ගේ මතය මර්දනය කිරීම සඳහා එක්තරා නීතිමය උපකරණයක් විදිහට මේ පනත පාවිච්චි වීමට ඉඩක් තිබෙනවා කියන තර්කයයි මතුවෙමින් තිබෙන්නේ. ඔන්ලයින් වේදිකාව තුළ මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳව ලෝක මට්ටමේ සංවාදයක් අප දකිනවා. මෑතකාලීනව දැකපු ප්‍රබල උදාහරණය තමයි මේ ආයතන ප්‍රධානීන් ඇමරිකන් කොන්ග්‍රස් මණ්ඩලය හමු‍වට කැඳවලා සිද්ධවෙච්ච සාකච්ඡාව. එහිදි ෆේස්බුක් ආයතනයේ අධිපති මාක් සකබර් ඇතුළු කණ්ඩායමක් ඒ සාකච්ඡාවේදී ඔවුන් මුහුණදුන්නා මේ මාර්ගගත මිනිස් චර්යාවන් විසින් ලෝකයා හමුවේ නිර්මාණය කළ තිබෙන ව්‍යසනයේ ස්වභාවය. අවසානයේදී ඒ ඩිජිඩල් වේදිකාවල හිමිකරුවන්ට සිදුවුණා ප්‍රසිද්ධියේ ඒ වින්දිතයන්ගේ හිතෛෂීන්ගෙන් සමාව ගන්න. ඕනෑම මිනිස් චර්යාවකට යම් නීතිමය රාමුවක් වූවමනයි. ඒ වගේම ඕනෑම මිනිස් චර්යාවකට සදාචාරාත්මක රාමුවක් වුවමනයි. එයින් අදහස් වෙන්නේ නැහැ එකි මිනිස් ක්‍රියාකාරකම සම්පූර්ණයෙන්ම නතර වෙනවා කියලා. ඒ ක්‍රියාකාකරකම් තුළ නිරතවන්නන්ට එරෙහිව හැමවිටම නීතිය ක්‍රියාත්මක වී ඒ පිරිස මර්දනය කර ඒ පිරිසව අපහසුතාවයට පත්කිරීමක් සිදුවෙනවා කියලා. ලෝකයේ ඉතාම සත්භාවයෙන්ම කරන දෙයකට වුනත් නීතියක් තිබෙනවා. වෙසක් පෝයට දන්සැලක් දීමේදීත් රටේ නීතියක් තිබෙනවා. ඕනෑම දෙයකට සමාජයක සදාචාරාත්මක රාමුවක් සහ නෛතික රාමුවක් තිබෙනවා. ඒ නිසා මිනිසුන්ගේ සමාජ මාධ්‍ය ප්‍රමුඛ මාර්ගගත මිනිස් චර්යාවන්ට අදාළව කිසියම් නෛතික වේදිකාවක් මේ නිර්මාණය වෙලා තිබෙන්නේ. අපි විශ්වාස කරනවා ඒ තුළ කිසිදු විශේෂ පාර්ශවයකට අසාධාරණයක් සිදුවෙලා නැහැ කියලා. එකි නීතිය ක්‍රියාත්මක වීම තුළ යම් ගැටලුවක් මතුවෙන තැනක් තිබේ නම් ඒ පිළිබඳව ඔවුන්ට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ආයතන රාමුවක් මේ රටේ ක්‍රියාත්මකයි. ඒ වගේම යම් තැනක් වෙනස් වියයුතු තැනක් තිබේනම් ඒ පිළිබඳව ව්‍යවස්ථාදායක තුළ සාකච්ඡාවට ගන්නත් පුළුවන්. ජනාධිපතිවරණයට අදාළව කවුද අපේක්ෂකයා කියන ප්‍රශ්නය තමයි හැමතැනම සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන්නේ. ජනාධිපතිවරණයකදි මූලික කාරණා කිහිපයක් වැදගත් වෙනවා. අපේක්ෂකයා තීරණාත්මක වැදගත් සාධකයක් තමයි. නමුත් අපේක්ෂකයා කියන කාරණාව ජනාධිපතිවරණයකටවත් එකම කාරණය නොවේ. තව ප්‍රධාන වැඩ කිහිපයක් තිබෙනවා. ජනාධිපතිවරණ මෙහෙයුම දිනන ඡන්ද සටනක් විදිහට මෙහෙයවන්නේ කොහොමද? එය මහා පොළොවේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ජනාධිපතිවරණයකදි අත්‍යවශ්‍යයි දේශපාලන ව්‍යාපාරයකට එතැන් සිට එළඹෙන ඉතිරි අවුරුදු 05 සඳහා අපේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ කුමක්ද කියලා. අපේක්ෂකයත් වැදගත් වන අතර ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙනියන්න ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ඒහා සමාන ලෙසත් වැදගත්, ඒ වගේම දිනන ඡන්ද සටනක් කෙසේද ක්‍රියාත්මක කරන්නේ, එය බිම් මට්ටමේ කෙසේද පැලකරන්නේ කියන කාරණාව දේශපාලන ව්‍යාපාරයක් මේ මොහොතේ සාකච්ඡාවට ගත යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඒ ප්‍රධාන කාරණා තුන හතර ඇතුළේ සිටිනවා. අපි මේ එළඹෙන ජනාධිපතිවරණය තුළ මේ රටේ දිනන දේශපාලන ව්‍යාපාරය බවට පත්වෙන , ඊලඟ යුගයේ මේ රටේ ආණ්ඩුකරණය සඳහා ජනාධිපතිවරණ ජයග්‍රණය පිළිබඳව ඒ අවශ්‍ය මූලික තත්වයන් පිළිබඳව අපි අපේ අවධානය පූර්ව වශයෙන් යොමු කරලා තිබෙනවා. ”යැයි මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *