බුත්තල ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන තිබූ ඒකාබද්ධ විපක්ෂයට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රීවරුන් දෙදෙනකු වන රංජිත් වික්‍රමආරච්චි සහ වසන්ත ප්‍රියදර්ශන යන මහත්වරුන් එම සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන වීමට අගෝස්තු 25 වන දින තීරණය කර ඇත. තමන් මුහුණ දුන් අසාධාරණයන් සහ ඇති වූ කලකිරීම් හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බව එම මන්ත්‍රීවරු පවසති.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ස්වාධීන වීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8ක් දක්වා අඩුවී ඇති අතර, ජාතික ජන බලවේගයටද මන්ත්‍රී ධුර 8ක් හිමිවී තිබේ. මේ හරහා ඒකාබද්ධ විපක්ෂයට ඉදිරියට හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණේ සහාය පමණි.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දක්වමින් බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජික චතුරංග මහතා සඳහන් කර ඇත්තේ එම මන්ත්‍රීවරුන් දෙදෙනා විපක්ෂයට එකතු වී නැති බවත්, ඉදිරියේදී තමාට (සභාපතිවරයාට) සහාය ලබා දීමට පොරොන්දු වී ඇති බැවින් සභාවේ බල තුලනයට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්ය.














