පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) මඟින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර ඉලක්ක කර ගනිමින් විශේෂ වැටලීම් සහ පරීක්ෂා කිරීම් මාලාවක් ආරම්භ කර තිබේ. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙම විශේෂ මෙහෙයුමේදී වැටලීම් 52ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මෙම විමර්ශනවලදී දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එහිදී රෝගීන්ගේ වෛද්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන ඇතැම් වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය සහ උපකරණ සම්බන්ධයෙන් බරපතළ අනනුකූලතා රැසක් අනාවරණය වී ඇත. ඇතැම් රසායනාගාර ද්‍රව්‍ය කල් ඉකුත්වීම හේතුවෙන් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවතීම, ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු පැවතීම සහ භාවිතයේ පවතින ද්‍රව්‍ය සමඟ කල් ඉකුත් වූ ද්‍රව්‍ය එකට ගබඩා කර තිබීම විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
එහිදී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන මෙවලම් කට්ටල (Glucometer Strips), විවිධ රසායනාගාර රසායනික ද්‍රව්‍ය (Reagents), ඩෙංගු රෝග විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල (Dengue Test Kits), හෘද රෝගීන් සඳහා භාවිත කරන ජෙල් වර්ග, වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන විවිධ රසායනාගාර ද්‍රව්‍ය සහ වර්ණක ද්‍රාවණ (Staining Solutions) ඇතුළු උපකරණ රැසක් නිලධාරීන් භාරයට ගෙන ඇත. මෙම වැරදි සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත්, මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන මෙවැනි ක්‍රියාවලට එරෙහිව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.














