වඩාත් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් උදෙසා ‘පොකුරු බස් සමාගම්’ ක්‍රමය ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
177, 170 සහ 190 යන බස් මාර්ග අංක ආශ්‍රිතව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. පෙර පැවති සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී යන කාණ්ඩ හතරෙන් අර්ධ සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී සේවා ඉවත් කිරීමට පියවර ගෙන ඇත. අර්ධ සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන් පවතින අධිකරණමය කටයුතු සඳහා කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
දුර ගමන් සේවා සහ කෙටි දුර ගමන් සේවා සඳහා බස් ගාස්තු තීරණය කිරීමේදී එකම සූත්‍රයක් භාවිත කිරීම සාධාරණ නොවන බැවින්, දුර ගමන් බස් සේවා සඳහා පිරිවැය සැලකිල්ලට ගෙන වෙනම ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව මාර්ග අනතුරු අවම කිරීම, පාපැදි හා යතුරුපැදි සඳහා වෙනම මං තීරු වෙන් කිරීම, මගීන්ට ඉතිරි මුදල් නොලැබීම වැනි ගැටලු සහ ප්‍රවාහන හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල පවතින ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා වූ අතර, ඉන්ධන හැර අනෙකුත් මෙහෙයුම් පිරිවැය තවමත් ඉහළ මට්ටමක පැවතීම ගැටලුවක් බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ.














