ඇමෙරිකාව පුරා පිහිටි රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ ද්‍රව්‍ය බෙදා හරින ප්‍රධානතම මධ්‍යස්ථානයක් වන කැලිෆෝනියාවේ පිහිටි Medline Industries සමාගමට අයත් වර්ග අඩි මිලියනයක දැවැන්ත බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. පසුගිය ජූනි 11 වනදා පස්වරුවේ ගොඩනැගිල්ලේ වහලයෙන් හටගත් මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවන අංශ රැසක් දැඩි වෙහෙසක් දැරුවද, ඉතා වේගයෙන් පැතිර ගිය ගින්න හේතුවෙන් මුළු ගොඩනැගිලි සංකීර්ණයම විනාශයට පත් විය.
ගින්නෙන් නැඟුණු ඝන කළු දුමාරය සැතපුම් ගණනාවක් ඈතට දර්ශනය වූ බව විදේශීය මාධ්‍ය වාර්තා කරන අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ල තුළ සිටි සියලුම සේවකයින් නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකිව තිබේ. මෙම අනතුර හේතුවෙන් තම සමාගමේ සමස්ත බෙදාහැරීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වී ඇති බව මෙඩ්ලයින් සමාගම තහවුරු කළේය.
මෙම වසරේ අප්‍රේල් මාසයේදී ද කැලිෆෝනියාවේ ඔන්ටාරියෝහි පිහිටි ‘කිම්බර්ලි-ක්ලාක්’ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ද මෙලෙසම සාපරාධී ගිනි තැබීමකින් විනාශ වූ අතර, මාස කිහිපයක් ඇතුළත සිදුවූ මෙම දෙවන දැවැන්ත ගින්න පිටුපස කිසියම් සංවිධානාත්මක රටාවක් පවතින්නේ දැයි බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ සැක පළ කරති. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ආරක්ෂක අංශ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.















