කාම්බෝජය සහ තායිලන්තය අතර තායිලන්ත බොක්කේ සමුද්‍රීය දේශසීමා ආශ්‍රිතව පවතින දිගුකාලීන ගැටුම නිරාකරණය කර ගැනීම සඳහා කාම්බෝජය විසින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම සහිත අනිවාර්ය සංහිඳියා ක්‍රියාවලියක් (compulsory conciliation process) ආරම්භ කර තිබේ. පසුගිය මාසයේදී තායිලන්ත රජය විසින් දෙරට අතර පැවති 2001 සමුද්‍රීය සාකච්ඡා රාමුව ඒකපාර්ශ්විකව අවලංගු කිරීමෙන් අනතුරුව කාම්බෝජය මෙම තීරණය ගෙන ඇත.
කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මැනට් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර නීතියට අනුකූලව කාම්බෝජයේ ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි. මෙම ක්‍රියාවලිය එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) අනුව සිදු කෙරෙන අතර, ස්වාධීන විශේෂඥ කමිටුවක් මගින් ආරවුල විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, එම නිර්දේශ පාර්ශ්වයන් දෙක සඳහා නීත්‍යානුකූලව බැඳී පවතින ඒවා නොවේ. පසුගිය වසරේ දෙරට අතර දේශසීමාවේ ඇති වූ මිලිටරි ගැටුම්වලින් පසුව ඇති වූ ජාතිකවාදී මතවාදයන් හමුවේ තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරාකුල් මහතා ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් අනුව මෙම ගිවිසුම අවලංගු කර තිබුණි.
















